ආනවිළුන්දාව වනජීවි අභය භූමිය
පිහිටීම
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ සහ මීගමුව - පුත්තලම දුම්රිය මාර්ගය අතර (උතුරු අක්ෂාංශ 7.42 හා නැගෙනහිර දේශාංශ 79.49 )හෙක්ටයාර 1397.037 ක ප්‍රදේශයක් ආවරණය කෙරෙමින් පිහිටා තිබේ. ආසන්නතම නගරය වනුයේ දකුණින් පිහිටි හලාවත නගරය (කි.මී.10) සහ උතුරින් පිහිටි පුත්තලම නගරය (කි.මී. 35) ය.

රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීම.
වනජීවි සංරක්ශණ දෙපාර්තමේන්තුව විසින් වනසත්ව හා තුරුලතා ආරක්ශා කිරීමේ ආඥා පනතේ විධි විධාන යටතේ 1997 ජුනි මාසයේදි මෙම ආනවිළුන්දාව වන ජීවි අභයභූමිය ස්ථාපිත කරන ලදී. 1997 ජුනි 11 වන දින අංක 979/15 දරණ රජයේ ගැසට් පත්‍රය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තෙත්බිමේ ඇති අසාමාන්‍ය ජෛව විවිධත්වය, ස්වාභාවික හා මිනිසා විසින් සාදන ලද වාසස්ථානවලින් සෑදුණු විශේෂිත පරිසර පද්ධතියක් වීම මෙන්ම පුරාණ වාරි කර්මාන්ත වලට සම්බන්ධකම් ඇති සංස්කෘතික උරුමයක් තිබීමද යන මේ කරුණු මෙම අභය භූමිය ප්‍රකාශයට පත්කිරීමට පාදක විය.
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලෝක සංරක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය හා එක්ව ඉදිරිපත් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන්ම ජලජ පක්ෂී වාසස්ථානයක් ලෙස ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත් බිමක් වශයෙන් ආනවිළුන්දාව තෙත්බිම් අභය භූමිය 2001 වර්ෂයේ අගෝස්තු මාසයේදි ඉරානයේ පවත්වන ලද ජාත්‍යන්තර රැම්සාර් සම්මුතිය විසින් ශ්‍රී ලංකාවේ දෙවන රැම්සාව ලෙස පිළිගන්නා ලදී.
මායිම්
උතුරට - පාරු ඇළ, බත්තුළු ඔය, උඩප්පුව මහා මාර්ගය හරහා ගලන ස්ථානයේදි පාරු ඇලෙහි මධ්‍ය රේඛාව ලක්ෂයේ සිට එම මාර්ගය ඔස්සේ නැගෙනහිර දෙසට කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගය හමුවන ස්ථානයේ ලක්ෂ්‍ය දක්වා
නැගෙනහිරට - ඉහත සඳහන් අන්තිම ලක්ෂ්‍යයේ සිට දුම් රිය මාර්ගය ඔස්සේ දකුණු දෙසට විහිදි ගොස් දුම් රිය මාර්ගය හරහා ගලායන සෙංගල්ඔයෙහි මධ්‍ය රේඛා ලක්ෂ්‍ය දක්වා
දකුණට - ඉහත අන්තිම ලක්ෂ්‍ය සිට සෙංගල් ඔය මධ්‍ය රේඛාව ඔස්සේ පාරු ඇල දෙසට කි.මී. 03 ක් පමණ දුරට විහිදී පාරු ඇලෙහි මධ්‍ය රේඛාව දක්වා සහ
බස්නාහිරට - ඉහත අන්තිම ලක්ෂ්‍ය සිට පාරු ඇල මධ්‍ය රේඛාව දිගේ උතුරට විහිදී බත්තුලු ඔය - උඩප්පුව මහා මාර්ගය හමුවන ලක්ෂ්‍ය දක්වා
පාරිසරික සුවිශේෂිත්වය
කුරුල්ලන් හා ජලජ පක්ෂීන් සඳහා වෙන් වූ වනගත වැව් හතකින්ද කළපුව, ඇල මාර්ග, ඔය හා මුහුද යන පරිසර පද්ධති සියල්ල සංකලනය වී බිහි වී ඇති මෙම ප්‍රදේශය සුවිශේෂි දේශිය, භෞමික හා ජලජ සත්ව හා ශාඛ විවිධත්වයක් දක්වන අතර ජලජ පක්ෂීන් නිසා තවත් සුන්දර වේ. තෙත් බිමේ හදවත බඳු වැව් පද්ධතිය ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වන අතර මහා පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1140 දී ඉදිකරන ලදී. එය හෙක්ටයාර 12 - 50 තරම් වපසරියක් සහිත එලන්ගාව ක්‍රමයට සැකසුණු ( රූරා හැලෙන ජලය සහිත ) නොගැඹුරු වැව් 7 කින් යුක්ත වේ.


ජෛව විවිධත්වය
2003 වසර අගභාගයේ දී රැම්සාර් කුඩා ආධාර යටතේ ලෝක සංරක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය (IUCN Sri Lanka) ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද ජෛව විවිධත්ව අධ්‍යයනය මඟින් හෙළිදරව් වූ තොරතුරු පහත සඳහන් වේ.
ආනවිළුන්දාව තුළ කුල 86 කට අයත් ශාක විශේෂ 246 ක් වාර්තා විය. මේ ශාක වලින් 218 ක් දේශිය ශාක වන අතර එක් විශේෂයක් ශ්‍රී ලංකාවට ඒක දේශිය වේ. එනම් Vernonia Ceylanica (පුපුලු) ශාකයයි. විශේෂ දෙකක් Aponogeton natans (කෙකටිය) සහ Diospyros ebenum (කළුවර) වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.
ලංකාවේ සිටිනා දේශිය, අභ්‍යන්තර පෘෂ්ඨවංශික සතුන් අතරින් 39% ක් නියෝජනය කරමින් විශේෂ 237 ක් ආනවිළුන්දාවෙන් වාර්තා වී ඇත. මෙම දේශිය විශේෂ වලට අමතරව පර්යටනික පක්ෂි විශේෂ 37 ක් වාර්තා වී ඇති අතර මෙම පෘෂ්ඨවංශී විශේෂ අතරට මත්ස්‍ය විශේෂ 47 ක ද, උභයජීවි විශේශ 9 ක් ද, උරග විශේශ 3 ක් ද, පක්ෂී විශේශ 168 ක් ද, ක්ෂීරපායි විශේශ 20 ක් ද ඇතුලත් වේ.
ආනවිළුන්දාවේ අපෘෂ්ඨවංශීන් අතර කුල 8 කට අයත් සමනල විශේෂ 74 ක් වේ.
ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා ද මීට ඇතුළත් ය. ජාතික වශයෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සමනලුන් විශේෂ 12 ක් මෙම අභයභූමියෙන් වාර්තා වී ඇත.
කුල 4 කට අයත් බත්කූරන් විශේෂ 13 ක් ද, ජලජ බෙල්ලන් 7 ක් ද වාර්තා වී ඇති අතර මකුළුවන් හා සළබයන් විශාල සංඛ්‍යාවක් මෙන්ම තවත් දුර්ලභ සත්ව විශේෂ කිහිපයක් ද ආනවිළුන්දාවෙන් දැකගත හැකිය.
සංක්‍රමණික හා දේශීය කුරුල්ලන්ගේ නිජබිමක් වන මෙම භූමි භාගය දේශීය, විදේශීය කුරුළු ලෝලින්, සංචාරකයින් සඳහා පමණක් නොව වෙනත් පරිසරවේදීන් , පර්යේෂකයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහාත් ස්වාභාවික ඡායාරූප ශිල්පීන් සඳහාද මෙම ප්‍රදේශය කදිම තෝතැන්නකි. 1970 දශකයේදී බිහි වූ (Ecotourism) පාරිසරික සංචාරක කර්මාන්තය යන සංකල්පය යටතේ මෙම ප්‍රදේශය සංචාරකයන්ට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස්විය යුතුය.





















